බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක,
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

යම් දිනක මෙම ශරීරය මෙහි තබා විඤ්ඤාණය ඉවත්ව යනු ඇත. තබා යා යුතු මේ දිරන, ලෙඩ වෙන ශරීරය නිසා ලෝභ, දෝස, මෝහ ආදි කෙලෙස් වපුරාගෙන දිගු සසර ගමනෙහි තව තවත් දුක් විඳීමට සැරසීම කුමන නම් අඥාන බවක් ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

ඒවමේතං ගහපති, එව මේතං ගහපති, ආතුරෝ භයං ගහපති, කායෝ අණ්ඩභූ®තෝ පරියෝනද්ධෝ යො හි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය, කිමඤ්ඤත්‍ර බාලයා, තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බංඞ ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සතීති ඒවංහි තෙ ගහපති සික්ඛිතබ්බන්ති

“ගෘහපතිය, එය එසේමය. මේ කය රෝග ඇත්තේමය. මේ කය දුබල බැවින් රෝගයනට බීජයක් වැන්න. සියුම් සිවියෙන් වැසුනේය. ගෘහපතිය, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නීරෝගි බවක් පිළිගන්නේ හෝ අපේක්‍ෂා කරන්නේ නම් ඒ බාලබව හැර අන් කුමක්ද? එහෙයින් ඔබ විසින් මෙසේ හික්මවිය යුතුයි. “ මාගේ කය ගිලන් වුවත්, සිත නම් ගිලන් නොවේ.” යනුවෙනි. කාරුණික වූ පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ භග්ග දනව්වෙහි සුං සුමාරගිරි නුවර සමීපයෙහි “භේසකලා” නම් මිගදායෙහි වැඩ වසති.

මේ අවස්ථාවෙහි නකුලපිතා නම් වූ ගෘහපති තෙමේ තථාගත බුදුරජාණන් වහන්සේට මෙසේ පවසයි. ගුණබර වැඩිහිටි පියාණන් කෙනෙකුගේ කාරුණික හඬ මෙම වදන් ඔස්සේ ඔබටත් දැනේවි. “ භාග්‍යවතුන් වහන්ස, ජරා ජීර්ණ වූයෙමි. වයසට ගොස් ඇත්තෙමි. මහලු වුයෙමි. ජීවිතේ අවසන් කාලයට පැමිණ ඇත්තෙමි. ගිලන් වූ ශරීරයක් ඇත්තෙමි. නිතර ඇතිවන ලෙඩ රෝග ඇත්තෙක් වෙමි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ සිත සනහන භික්‍ෂූන් වහන්සේ නිතර දකින්නට අපහසුයි. ස්වාමීනි! යම්සේ බොහෝ කලක් හිත සුව පවතින දහමක් වේ නම්, එවැනි දහමකින් මට අවවාද කරන්න.

අනුශාසනා කරන්න. “ මේ අවස්ථාවෙහිදී මහා කාරුණික වූ තථාගත බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් කළ පාලි පාඨ පෙළ අනුව අවවාද කෙරෙති. එහි අවසන් කොටස නැවත සිහිපත් කරමු. “ ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති” කය ගිලන් වුවත් සිත නම් ගිලන් කරගන්න එපා යන අදහසයි.

මෙම උතුම් අවවාදය අප සෑම කෙනෙකුටම එකසේ ගැළපෙයි. කය නීරෝගීව තබා ගැනීම අවශ්‍යයය. එනමුත් පඨවි (තදගතිය) ආපෝ (වැගිරෙන ස්වභාවය) තේජෝ (උෂ්ණය) සහ වායෝ (සුළඟ) නම් වූ සතර මහා භූත ධර්මයන් ගෙන් නිර්මිත වූ මෙම කය දිරීමද, බිඳීමද ලෙඩ දුක්වලට භාජනය වීමද උරුමකොට ඇත්තේය. හැබැවින්ම එම වෙනස්වීම්වලදී තමාගේ යයි සම්මුතියෙන් සිතාගත් ශරීරය වුවද තමාටම පාලනයක් නැත්තේය. එබැවින් දිරීම,, ගිලන්බව ඉදිරියේ මානසිකව ඇතිවන සෝක, සන්තාප, දුක්ඛ දෝමනස්සයන්ගෙන් බැහැරව ජීවිතය පවත්වා ගැනීම මානසික සැනසිල්ලකි.

යම් ආකාරයකින් එම මානසික ඒකාග්‍රතාවය කායික නීරෝගී භාවය පවත්වා ගැනීමට උපකාරයක්ද වනු ඇත. සත්‍ය වශයෙන්ම සම්මුතියට මේ ශරීරය මගේ යැයි පැවසුවද පරමාර්ථ ධර්මය අනුව තමාට අයත් නැත. අප විසින් සිදු කරන්නේ සෝදා පිරිසුදු කොට, නහවා, කවා පොවා ඇඳුමින් සරසා පවත්වා ගැනීමය. යම් දිනක මෙම ශරීරය මෙහි තබා විඤ්ඤාණය ඉවත්ව යනු ඇත. තබා යා යුතු මේ දිරන, ලෙඩ වෙන ශරීරය නිසා ලෝභ, දෝස, මෝහ ආදි කෙලෙස් වපුරාගෙන දිගු සසර ගමනෙහි තව තවත් දුක් විඳීමට සැරසීම කුමන නම් අඥාන බවක් ද?

නකුල පිතු භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට සතුටු වු සිතින් යුතුව සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතට පැමිණියේය. “ ගෘහපතියෙනි නුඹගේ මුහුණ ප්‍රසන්නය. ඉන්ද්‍රියයෝ පැහැපත්ය. පිරිසුදුය. අද භාග්‍යවතුන් වහන්සේ වෙතින් දැහැම් කතාවක් ඇසුවේදැයි “ සාරිපුත්ත මහ රහත් තෙරහු විමසූහ. “එසේය! භාග්‍යවතුන් වහන්සේගේ දහම් කතා නමැති අමාවෙන් අභිෂේක වූයෙමි, යි නකුල පිතු සඳහන් කළේය. තමා භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයත්, එම පැනයට භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබුණු පිළිතුරත් නකුල පිතු සැරියුත් මහ රහත් තෙරණුවන්ට පැවසීය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වදාළ දහමෙහි අරුත, විස්තර කොට පැහැදිළි කරන්නැයි නකුල පිතු විසින් සැරියුත් මහ රහත් තෙරුණුවන්ගෙන් ඉල්ලීය. ඒ මෙසේය.

කෙසේ ගිලන් වු කය ඇත්තේත් ගිලන් වු සිත ඇත්තේත්වේද? කෙසේ නම් ගිලන් වු කය ඇත්තේ නොගිලන් වු සිත ඇත්තේවේද? යනුවෙනි. සැරියුත් මහ රහතන් වහන්සේ අරුත් ගළපා දේශනා කරති. “ගෘහපතිය , නුවණැසින් ආර්යන් නොදක්නා වූ ආර්ය ධර්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ රූපය ඇත්මය යැයි හෝ ආත්මය රූප ඇත්කෙැයි හෝ ආත්මයෙහි රූපය පවතී යැයි හෝ රූපයෙහි ආත්මය පවතී යැයි හෝ දකී. රූපය මමය, මාගේය යනුවෙන් රාගාදි අරමුණු ඔස්සේ දැඩි ව සිතින් අල්ලාගෙන සිටියි. රූපය මමය, මාගේය කියා සිතින් දැඩිව අල්ලාගෙන සිටින ඔහුට හෝ ඇයට රූපය, ජරා , මරණ, දිරන, වෙනස්වීම් ආදියට පෙරළෙන විට සෝකය, හැඬීම දොම්නස, ලතැවීම ආදි දුක් උපදිති.

මේ ආකාරයෙන් වේදනාවද ඔහු හෝ ඇය විසින් වේදනාව ආත්මය යැයිද ආත්මය වේදනාව යැයිද ආත්මයෙහි වේදනාව පවතී යැයිද වේදනාවෙහි ආත්මය පවතී යැයිද දකී හෝ සිතයි. වේදනාව මම මාගේ යැයි සිතින් දැඩිව ගෙන සිටී. වේදනාව වෙනස් වන විට හෝ අන්‍ය ස්වභාවයකට පත්වන විට ඔහුට හී ඇයට සෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස උපදිති. මෙහි වේදනාව යනු රිදීමම නොව සුඛ, දුක්ඛ සහ මධ්‍යස්ථ ලෙසින් ඇස ආදි ඉන්ද්‍රියන්ගෙන් රූපාදී අරමුණු ගැනීමේදී ඇතිවන හැඟීමය. එමෙන්ම සංඥාව ආත්මය යැයි හෝ ආත්මය සංඥාව යැයි හෝ ආත්මයෙහි සංඥාව පවතී යැයි හෝ සංඥාවෙහි ආත්මය පවතී යැයි හෝ දකී. සංඥාව නම් වූ අරමුණු හඳුනාගැනීම මමය මාගේය කියා රාගාදී අරමුණු වලින් සිතින් අල්ලාගෙන සිටින ඔහුට හෝ ඇයට සංඥාවෙහි විපරිණාමය හෝ අන්‍ය ස්වභාවයට පත්වීම සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හට ගැනීම පිණිසම හේතුවෙයි.

ඒ අයුරින්ම සංස්කාර ආත්මය යැයි හෝ ආත්මය සංස්කාර යැයි හෝ ආත්මයෙහි සංස්කාර පවතී යැයි හෝ සංස්කාරයන්හි ආත්මය පවතීයැයි හෝ දකී. සංස්කාර මමය මාගේය කියා දැඩිව සිතින් අල්ලාගෙන සිටින ඔහු සංස්කාරයන්හි වෙනස්වීම සෝක පරිදේව ආදි දුක් දොම්නස් පිණිසම හේතුවෙයි.

එමෙන්ම විඥානය ආත්මය යැයි හෝ විඥානය ආත්මය යැයි හෝ ආත්මයෙහි විඥානය පවතී යැයි හෝ විඥානයෙහි ආත්මය පවතී යැයි හෝ දකී. විඥානය මමය මාගේ කියා උපාදානය කරගෙන සිටින ඔහුට හෝ ඇයට විඥානය වෙනස් වන විට අන්‍ය ස්වභාවයකට පත්වන විට සෝක පරිදේව, දුක්ඛ, දෝමනස්ස සහ උපායාස උපදිති. ගෘහපතිය! මෙය ගිලන් වු කය ඇත්තේ මෙන්ම ගිලන් වූ සිත් ඇත්තේ වෙයි. ගෘහපතිය, කෙසේ නම් ගිලන් වූ කය ඇත්තේ නමුදු ගිලන් වූ සිත් ඇති නොවන්නේ කෙසේද?

ගෘහපතිය, කෙසේ නම් ගිලන් වු කය ඇත්තේ නමුදු ගිලන් වූ සිත් ඇත්තේ වෙයි. ගෘහපතිය කෙසේ නම් ගිලන් වූ කය ඇත්තේ නමුදු ගිලන් වූ සිත් ඇති නොවන්නේ කෙසේද?

ගෘහපතිය, ආර්යන් දක්නා වූ ආර්ය ධර්මයෙහි දක්‍ෂ, ආර්ය ධර්මයෙහි හික්මුණු සත්පුරූෂයන් දක්නා වූ සත්පුරුෂ ධර්මයෙහි දක්‍ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ආත්මය යැයි නොදකියි. ආත්මය රූපය යැයි නොදකියි. ආත්මයෙහි රූපය පවතී යැයි නොදකියි. රූපයෙහි ආත්මය පවතී යැයි නොදකියි. රූපය මම මාගේය ලෙසින් තෘෂ්ණාවෙන් හෝ වැරැදි වූ ආත්ම දෘෂ්ඨියෙන් අල්ලාගෙන නොසිටියි. මේ නිසා ඔහුගේ හෝ ඇයගේ රූපය ජරා හෙවත් දිරාගෙන යාම සහ ව්‍යාධිය හෙවත් ලෙඩ දුක් පත්වෙමින් වෙනස්වන විට ඔහුට හෝ ඇයට සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස ආදි දුක්ඛයෝ නූපදිති.

මේ අකාරයෛන්ම වේදනාව, සංඥාව, සංඛ්‍යාර සහ විඤ්ඤාණය කෙරේ දකින්නට ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා දක්‍ෂ වෙයි. හික්මෙයි. මම මාගේය කියා තණ්හා දෘෂ්ටියෙන් නො අල්ලා ගනියි. මේ නිසා වේදනා, සංඥා , සංඛ්‍යාර සහ ෂඤ්ඤාණයේ වෙනස්වීමේදී හෝ අන්‍ය ස්වභාවයට පත්වීමේදී ඔහුට හෝ ඇයට සෝක, පරිදේව, (වැළපීම) දුක් දොම්නස්, උපායාස (බලවත් සිත් තැවුල) නූපදිති. ගෘහපතියනි, මෙම ආකාරය නම් ගිලන් වූ කය ඇත්තේ නමුත් ගිලන් නොවු සිත් ඇත්තේ වෙයි. සැරියුත් මහරහතන් වහන්සේගේ පැහැදිළි කිරීමේ මෙම දේශනාව ශ්‍රවණය කළ නකුල පිතු ගෘහපති ගිලන් වු කය ඇත්තේ වී නමුත් ගිලන් නොවු සිත් ඇත්තේ මහත් ප්‍රසාදයට පත්විය.

මෙම උතුම් ධර්ම අවවාදය ඔබ අප සෑම අයෙකුටම අපමණ වූ සහනය ගෙන දෙන්නකි. උපන් සත්වයාට ජරා,ව්‍යාධි, මරණයෙන් බේරීමක් හෝ ගැලවීමක් නැත. භව චක්‍රය හෙවත් සසර ගමනෙහි සිටිනා තෙක් මෙම ජරා ව්‍යාධි මරණයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම යථා ස්වභාවය නුවණින් දකින්නට ඉහත සඳහන් දේශනාව මහත් උපකාරයකි. අප සියලු දෙනා මම, මාගේය කියා සම්මුතියෙන් (ලෝක ව්‍යවහාරයෙන්) නමුත් හඳුන්වන මෙම කය පඤ්ච ස්කන්ධයන්ගේ එකතුවකි. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර විඤ්ඤාණ නම් වූ ස්කන්ධ යනුයි. ඉහත පැහැදිළි කළ අයුරින් එක් එක් ස්කන්ධයක් මමය, මාගේය කියා තණ්හා, මද, මාන ආදී දෘෂ්ඨීන්ගෙන් සිතින් උපාදානය හෙවත් ග්‍රහණය කර ගැනීමේදී සිදුවන්නේ සෝක, පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට පත්වීම පමණකි. හේතුව නම් ඒ රූප ආදි ස්කන්ධයෝ නිරන්තර විපරිනාම හෙවත් වෙනස්වීමකට භාජනය වන බැවිනි. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දහම් වදන් පෙළක් මෙහිදී සිහිපත් කරමි. “ නාහං ආනන්ද ඒකරූපම්පි සමනුපස්සාමි යත්ථාහි රත්තස්ස රූපස්ස විපරිනාමඤ්ඤතා භවා නඋප්පජ්ජෙය්‍යුං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා “ “ආනන්ද ! කිසියම් රූපයක ඇලී රාගාදි බැදීමක් ඇතිකර ගන්නේ නම්, ඒ සිතින් අල්ලාගත් රූපය වෙනස් වන විට හෝ නැසෙන විට ඔහුට හෝ ඇයට සෝක, පරිදේව, දුක් දොම්නස් නූපදින්නේ යයි පැවසිය හැකි කිසිදුරූපයක් මෙම භව පැවැත්මෙහි මම නොදකිමි.

(මහ සුඤ්ඤත සූත්‍රය) ආර්ය ධර්මයෙහි පිහිටා, දක්‍ෂව ඉන්ද්‍රියන්හි මනා හික්මීමකින් යුතුව, යෝනිසෝමනසිකාරයෙන් යුතුව පඤ්ච උපාදානස්කන්ධයන් කෙරේ දකින්නට අපට හැකිවන්නේ නම් මේ උතුම් දහම අප සඳහාමය. මේ මොහොතේ වෙන්නට පුළුවනි. ඉදිරියේ වෙන්නට පුළුවනි. අපත් ව්‍යාධියට පත්වේවි. බෙහෙත් ගැනීම සහ සුවපත් කරගැනීමක් ඇති කර ගනිමු.

එනමුත් ඒ සියලු දෑ තාවකාලිකය. එසේ දිරීම , ව්‍යාධිය සහ වෙනස්වීමට පත්වන විට නොගිලන් වූ සිතක් ඇතිකර ගැනීම මෙලොව ජීවිතයට මෙන්ම මරණින් මතු අවස්ථාවට ද සුවදායකය. සිත ගිලන්වීම යනු සිතෙහි මම මාගේ යන තෘෂ්ණාවය. එය සසරෙහි දුක්ගත පැවැත්මට හේතුවෙයි. ඉහත අනුශාසනා කළ සංයුත්ත නිකායේ ඛන්ධ සංයුත්තයේ නකුලපිතු සුත්‍රයේ පරම වු දහම් අවවාදය ඔබ සහ අපට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම වේවා ! උතුම් නිවනින් නිවීමම වේවා.

Advertisements
Posted by: sureshpdn | December 29, 2009

බියකරු සසර


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

අන්ධ භූතෝ අයං ලෝකෝ

තණුකෙත්‍ථ විපස්සති

සකුන්තෝ ජාලමුත්තෝව

අප්පෝ සග්ගාය ගචිඡති

කාරුණික පින්වතුනි ,

අද දින ධර්ම දේශනාවට මාතෘකාව කරගනු ලැබුයේ ධම්මපදයේ ලෝක වග්ගයේ අටවන ගාථාවයි. දැන් මේ ගාථාවේ තේරුම ගෙන බලමු. “මෙහි ටික දෙනෙක් වෙසෙසා දකී දැලින් මිදුණු මුවකු මෙන් ටිකදෙනෙකු සුගතියට යති. නිවනට යන්නෝ ටික දෙනෙකි. බොහෝ දෙනෙක් අපායට යති”.

මෙයින් පැහැදිලි කරනු ලබන්නේ ලෝක වාසී සත්වයා පුහුදුන් බවින් යුක්ත බවයි. නුවණ නැති මිනිසා ලොව ඇති සියල්ල සැපසේ සලකයි. පංච කාම සම්පතින් ආඪ්‍යව හෝ ඒවා සොයායාමෙන් අනේකවිධ දුක් පීඩා ආදියට සත්වයා ගොදුරු වේ. එවන් සත්වයන් එහි ඇලී ගැලී සිටිනු මිස ඒවායෙන් මිදීමට උත්සාහ කරන්නේ නැත. පුහුදුන් මිනිසා යනු සසරට නිතරම පිවිසෙන්නා යන අර්ථය දෙන්නකි. යථා අවබෝධයට බැස නොගත් අවිද්‍යා අන්ධකාරයෙන් මුලා වී සිටින පුද්ගලයා ය. ඉහත ගාථා ධර්මයෙන් “තණුකෙත්‍ථ විපස්සති” යනු පංච කාම සම්පත්හි ආදීනව විශේෂයෙන් දකින්නේ ටික දෙනෙකි. පංච ඉන්ද්‍රියන් හා ඒවාට ගෝචර වන අරමුණු පස්කම් සැපයට අයත් වන්නේ ය. මෙහි නිස්සාරත්වය දැකීම නුවණැති බවයි. අනිත්‍ය, දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්‍ෂණය මෙනෙහි කිරීම හා විශේෂයෙන් දැනගැනීම නම් වේ. වටු වැද්දා එලන දැලට හසුව එයින් මිදී පළා යන වටුවන් මෙන් ඥානවන්තයා ලොව තත්ත්වාකාරයෙන් දකිනු ලැබ පස්කම් සැප බැහැර කර අනගාරික දිවි පෙවෙතකට නැඹුරු වෙයි. මේ නිසා සසර ගමන කෙටි කරනු ලබන කුසල ක්‍රියාවල නියැලේ. සසර බැඳ තබන කෙලෙස් සංසිඳවීමට නම් වස්තු සම්පත් පිළිබඳව දැඩි ආශාව දුරුකළ යුතුයි. මම මගේ යන සංකල්පය ඇති තැන සසර ගමන දිගුකරනු ලබයි. මේ නිසා ලෝකවාසී සත්වයා අන්ධ වන්නේ ය. සියල්ල ආත්මීය ග්‍රහණයට ගෙන ගැලවීමට නොහැකි ලෙස බැඳී සිටීම අන්ධ බවයි. දැඩිව යමක් එල්බගෙන සිටීම නුසුදුසු වේ. ධනය ඉපයීමේ දී ධාර්මික ක්‍රම රටාවෙන් බැහැර වූ තැන මිනිසාට විවිධ ගැහැට විඳීමට සිදුවේ. තාවකාලික ලොවක අප ඒ සිදුකළ යුත්තේ හොඳ දෙයයි. අස්ථිර ලොවේ අස්ථිර සම්පත් රැසක් ස්ථිර කර ගැනීමට අපට හැකියාවක් නැත. මේ නිසා පරලොව දෙස බලා දිවිමග යහපත් කර ගැනීමට බුද්ධිගෝචර වන්නේ ය. අද ලොව දෙස බලන විටදී ද විවිධ සම්පත් නිසා වටිනා ජීවිත සියගණනින් වැනසීමට ලක් වේ. එමෙන්ම මිථ්‍යාදෘෂ්ඨියෙන් මුලා වී ලොව තුළ සිදුවන ජීවිත හානි ප්‍රමාණය සීමා කළ නොහැකි තරම්ය. මිථ්‍යාදෘෂ්ඨි වශයෙන් අප වැරැදි සංකල්පනා ඇතිකරගත් තැන සසර ගමන දිගුවන බව කල්පනාවට ගත යුත්තකි. බුද්ධිමතා මෙලොව දිවිය ගතකරනුයේ පරලොව සැපය ලද හැකි අයුරිනි. මේ නිසා ධර්මානුකූල දිවිපෙවෙත සැපයට හේතුවේ. පස් පව් දස අකුසලෙන් වෙන් වූ තැන කාහටත් සැනසීම ලද හැකි ය.

අඳුර තුළ සිටගෙන සාපකිරීම හා විලාප දීම සුදුසු නොවේ. අඳුර නැසීමට තම අධ්‍යාත්මය ආලෝකවත් කර ගත යුතු ය. එවිට දුගති බිය දුරු වී සුගතියට යන මාවත පැමිණෙනු ඇත. මේ සඳහා දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හා දානය ,පි‍්‍රයවචන, අර්ථචර්යාව, සමානාත්මතාව වැනි යහගුණ දහම් ප්‍රගුණ කිරීමෙන් දෙලොව ප්‍රගතිය උදාවේ. එසේ නොමැති විට පාපී ක්‍රියාවන්හි අන්ධ වී සිටීමෙන් ලද හැකි වන්නේ ප්‍රපාතයට වැටීමයි. සසර සැපදායක කරගත හැකි වන්නේ තම මනස යහපත් කරගතහොත්ම පමණි. එමගින් පුද්ගලයාගේ කය වචනය ද පාලනයට නතුකර ගත යුතු වේ. එසේනම් ඔබද ඔබේ දිවිමග ආලෝක කර ගැනීමට සම්බුදු දහම අනුව ක්‍රියා කරන්න. එවිට දෙලොව යහපත සැලසෙනු ඇත.

“අන්ධ භූතෝ අයං ලෝකෝ” යන මේ ගාථාව දේශනා කිරීමට හේතුවන්නේ අලව්නුවර දී පේෂකාරදුවක් අරභයා ය. එම කථාව මෙසේ ය. විහාරයේ බුදුරදුන් වැඩ වසද් දී සැදැහැති පිරිස් එම විහාරයට ගොස් දන් දී බණ ඇසීමෙහි නියැලුණහ. ඒ මහා පිරිසට බුදුරදහු මරණානුස්සති භාවනාවේ අනුසස් වදාළහ. ඒ දහම් ඇසූ බොහෝ දෙනා සිය නිවෙස් වෙත ගොස් ඒ ඒ කටයුතු කිරීමෙහි යෙදුණහ. ඒ මහා පිරිසට බුදුරදහු මරණානුස්සති භාවනාවේ අනුසස් වදාළහ. ඒ දහම් ඇසූ බොහෝ දෙනා සිය නිවෙස් වෙත ගොස් ඒ ඒ කටයුතු කිරීමෙහි යෙදුනහ. ඒ මහා පිරිස, සමඟ එකට බණ ඇසූ පේෂකාර දුවක් පැහැදී මෙසේ සිතුවා ය. අහෝ ! බුදුරදුන් වදාළ දහම මනහරය, අගනේ ය, සෑම දෙනාට යහපත සැපත සිදු කරදෙන්නේ ඒ දහමය. ඒ දහම පිළිපදින තැනැත්තා යහපත දකී. සැපත ලබයි. මම ඒ මරණානුස්සති භාවනාව වඩමියි සිතුවා ය. බුදුරජාණන් වහන්සේ එදා දහම් දෙසා දෙවුරම් වෙහෙරට වැඩිසේක. පේෂකාරදුව මරණ සති භාවනාව වැඩීමෙහි උත්සාහවත් වූවා ය. ඒ අතර ගේ දොර කටයුතු ද මනාව සිදුකළා ය. එසේ ඇය අවුරුදු තුනක් මරණ සතිය වැඩුවා ය. ඒවාගේම ගුණධර්මයෙන් පිරිපුන් වූවා ය. මෛත්‍රීයෙන් හා නුවණින් ද යුක්ත වූවා ය. එක් දිනක් අලුයම් කාලයෙහි ලොව බැලූ බුදුරදුන්ට ඒ පේෂකාර දුව පෙනුනි. තුන් අවුරුද්දක් මරණය මෙනෙහි කළ ඇගේ මරණය එදින සිදුවන බවත් ඇයට සෝවාන් වීමට වාසනාව ඇති බවත් පෙනුනි. බුදුහිමියෝ ඇය කෙරෙහි කරුණාවෙන් නැවත විහාරයට වැඩම කළහ. අලව් නුවර වැසියෝ බුදුරදුන් වැඳපුදා බණ ඇසීමට වෙහෙරට රැස් වූහ. පේෂකාර දුවද ඔවුන් සමග විහාරයට යාමට සිතා ඇය සූදානම් වෙද්දීම ඇගේ පියා මහන නූල්ටිකක් කැටගෙන එන ලෙස කියා රෙදි වියන හලට ගියාය. ඇය එම කැට වියවා දී වහා වෙහෙරට ගොස් පිරිස් අතර හුන්නී ය. බුදුරජාණන් වහන්සේ ඇය අමතා මෙසේ වදාළ සේක.

බුදුරජ – ළදැරියනි කොහි සිට අවුද?
පේෂකාර දුව – බුදුන් වහන්ස මම නොදනිමි,

බුදුරජ – කොහි යවුද?
පේෂකාර දුව – බුදුන් වහන්ස මම නොදනිමි.

බුදුරජ – නොදන්නෙහි ද?
පේෂකාර දුව – බුදුන් වහන්ස මම දනිමි.

බුදුරජ – දන්නෙහිද?
පේෂකාර දුව – බුදුන්වහන්ස මම නොදනිමි.

මෙසේ ඇය පිළිතුරු දෙද්දී අසාසිටි ජනතාව ඇය කටට ආ දෙයක්ම කියතියි සිතා කලබල වූහ. බුදුරදුන් පිරිස සංසිඳවා ඇසූ ප්‍රශ්නවලට එසේ පිළිතුරු දීමට හේතු විමසූ සේක. එවිට පේෂකාර දුව බුදුන් වහන්ස,

1. මම කොයි සිට අවුත් මනුලොවැ උපන්නාද යන්න නොදනිමි.

2. මම මියගොස් උපදින තැන නොදනිමි.

3. මම මිය යන බව දනිමි.

4. මම මිය යන වේලාව නොදනිමි.

එම නිසා මේ ආකාරයට පිළිතුරු දුන්බව ඇය කීවා ය. බුදුරජාණන් වහන්සේ ඇය ඒ මහා පිරිස මැදදී සිහි නුවණින් යුතුව එම ප්‍රශ්න වලට පිළිතුරු දීම පිළිබඳව ප්‍රශංසා කොට ඒ නිමිති කොට ඉහත ගාථාව දේශනා කළහ. ඒ අසා පේෂකාරදුව සෝවාන් ඵලයට පත් වූවා ය.

මෙම කථාව මගින් පැහැදිලි වන්නේ සසර ගමනෙහි අඳුරු ස්වභාවයයි. ඉතා දීර්ඝ සසර ගමනක් යාමට ඇති පුද්ගලයා නුවණ මෙහෙයවා යහගුණ දහම් වැඩිය යුතු වේ. ඉපදීම මැරීම උරුම වූවද ඒ අතර කාලය තුළ “කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්ම චරියං” යනුවෙන් වදාළ පරිදි කුසල් කළ යුතු යි. බ්‍රහ්ම චර්යාව පුරුදු පුහුණු කළ යුතු යි. සසර ගමනේ දී අතට ගත් දේ දමායන අතර සිතින් ක්ලේශ ධර්ම රැගෙන යයි. මේ නිසා දේපල සම්පත් මත නොව අධ්‍යාත්මික දිවිපෙවෙත සාර්ථක කර ගැනීමට ත්‍රිවිධ පින්කම්වල නියැලීම තුළින් දෙලොව සැනසිල්ල උදාකර ගතහැකි බව සැමදෙනාම සිතට ගනිත්වා.

සැමට සම්මා සම්බුදු සරණයි…!

Posted by: sureshpdn | December 16, 2009

ආලවක තෙරුවන් සරණ යයි


ස්වාමීනි, ප්‍රඥාව ආදියට හේතු වන කරුණුත් පරලොව ශෝක නොකිරීමට හේතු වන කරුණුත්, සියල්ල අද පටන් මම දැන ගතිමි. ඔබ වහන්සේ ඒකාන්තයෙන්මැ මටම හිත වැඩ පිණිස මෙම අලව් නුවර මගේ භවනයට වැඩම කළාහු ය. එසේම දීමෙහි මහත්ඵල මහා ආනිසංස මම අද වටහා ගතිමි….ස්වාමීනි, මම අද පටන් බුද්ධ , ධම්ම, සංඝ යන තෙරුවන් ගුණ ගයමින් ගමින් ගමට , නගරයෙන් නගරයට යන්නෙමි…..

‘කිමද ගද්‍රභයනි, තොප මේ හදිසියෙම …විමානය ආරක්ෂා කිරීම පසෙකලා මෙහි පැමිණියේ අද මෙහි අපගේ යක්ෂ සමාගම බව තා නොදන්නෙහිද…..?

“ස්වාමීනි, සමාවුව මැන…..තකහනියක් ඔබ වහන්සේ හමුවට පැමිණියේ වැදගත් කරුණක් ගැන සැළ කිරීමට….’

‘කියව …කියව..ඉක්මණින් කියව….මාගේ විමානයෙහි කිසියම් ප්‍රශ්නයක්ද…..?’එසේය ස්වාමීනි….එක්තරා ශ්‍රමණයකු ඔබ වහන්සේගේ විමානයට බලෙන්ම ඇතුලු වුනා.මා ඔහු වැළැක්වීමට කෙතෙක් උත්සාහ කළත් නොහැකි වුනා ස්වාමීනි. ඔහු ඔබ වහන්සේගේ ආසනයෙහිමැ හිඳ, ඔබ වහන්සේගේ බිසොවුන් වහන්සේලා පිරිවරා ඔවුන්ට බණ කියයි…වහා ගොස් සුදුසු පියවරක් ගත මැනවි….’

‘මොනවා…ශ්‍රමණයෙක් මගේ විමානයට බලෙන් ඇතුල් වී, මගේ භාර්යාවන්ට බණ කියනවා. ඔහු මගේ හැටි නොදැනද…? මම ඒ දුෂ්ඨයා ඉතිරි කරන්නෙ නැහැ. වහා ගොස් ඔහු වනසා දමන්නෙමි.

කෝපයෙන් ගර්ජනා කරමින් පැමිණි ආලවක තම විමානයෙහි වැඩ හිඳ, බිරින්දෑ වරුනට බණ දේශනා කැරෙන බුදු හිමියන් දැකීමෙන් බෙහෙවින් කෝපයට පත් විය. හෙතෙම ඔහු සතු සියලු අවි ආයුධ වලින් බුදු හිමියනට පහර එල්ල කළත්, කිසිම හානියක් කිරීමට නොහැකි විය.

ශ්‍රමණය, වහා නික්මෙව, මම තොපට හොඳින් පවසමි…නික්මෙව..’’එසේය මිත්‍රය…ඔබගේ විමානයෙන් මම එලියට යන්නෙමි. බුදු හිමියෝ ඔහු වෙත ශාන්තිය පතුරවමින් පිටතට වැඩම කළහ.

‘ශ්‍රමණය වහා මගේ විමානය තුළට පිවිසෙව…’
‘එසේව මා මිත්‍රය, මම පිවිසෙන්නෙමි’
‘ශ්‍රමණය, දෙවන වරටත් මම ඔබට කියමි. වහා නික්මෙව…’
‘එසේය මා මිත්‍රය, මම පිවිසෙන්නෙමි’
‘ශ්‍රමණය , දෙවන වරටත් මම ඔබට කියමි. වහා නික්මෙව…’

‘එසේය මිතුර මම නික්මෙමි..’මෙසේ තුන් වතාවක්ම බුදු හිමියනට පිටත වැඩීමටත් ඇතුළට පැමිණීමටත් නියෝග දුන් අතර, උන් වහන්සේ ඉතා සුවචවැ එම අණ පිළිපැද්දාහ. ආලවක බලවත් සේ සතුටට පත් වුනි. ‘අහා ..කොතරම් අගේද…හෙට පහන් වන තුරු මේ ශ්‍රමණයා ඇතුළට පිටතට ගමන් කැරවමින් වෙහෙසට පත් කරන්නෙමි. ඔව්..ඔව්….හෙට උදෑසන අලව් රජු මගේ භෝජනය සඳහා එවන නර බිල්ල ලැබෙන තුරුම මොහු වෙහෙසට පත් කරන්නෙමි. මොහුට හොඳ පාඩමක් උගන්වන්නෙමි…’

‘ශ්‍රමණය, වහා පිටතට යව…..’
‘යක්ෂය, මම නොයන්නෙමි….යමක් තොපට කළ හැකි නම් එය කරව…’

‘අහා ….එහෙමද ශ්‍රමණය ….හොඳයි මම බලාගන්නම්..මම තොපගෙන් ප්‍රශ්ණ කීපයක් විමසන්නෙමි. තොපට එම ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වුවහොත් මම තොපගේ සිත අවුල් කරන්නෙමි…..හදවත පලා දමන්නෙමි…දෙපා වලින් ගෙන පර සක්වලට විසි කරන්නෙමි…’’පින්වත් යක්ෂය….,දෙවියන්, මරුන්, බඹුන්, මිනිසුන් ශ්‍රමණ, බ්‍රාහ්මණයන් සහිත මේ තුන් ලෝකයෙහිම යම් කිසිවකු මගේ සිත අවුල් කිරීමට සමත් වේද, හෘදය වස්තුව පලා දමන්නට සමත් වේද, මගේ දෙපා වලින් ගෙන මුහුදින් එතරට දමන්නට සමත් වේද, එවැනි සමතකු මම නොදකින්නෙමි.

එම්බා යක්ෂය…තොපගේ වහසි බස් දෙඩවීම පසෙකලා යමක් ඇසීමට ඇත්නම් එය වහා අසනු….’’හොඳයි මම අසන්නෙමි…සාවධානව අසා ගනු….ශ්‍රවණය, මේ ලෝකයෙහි මිනිසුන්ට කවර නම් වස්තුවක් ශ්‍රේෂ්ඨ වේද…? කියව ….කියව….තොප පිළිතුරු දිය හැකි බවට වහසි බස් දෙඩෙව්වෙහිය’’පින්වත් යක්ෂය….,මේ ලෝකයෙහි පුරුෂයකුට ශ්‍රේෂ්ඨ වන්නේ ශ්‍රද්ධාවයි. මිනිසකු බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන් කෙරෙහි තිබිය යුතු විශ්වාසය ශ්‍රද්ධාව වශයෙන් හදුන්වනවා. ආර්යයන් මාර්ගඵල කෙරෙහි ඇති කැර ගන්නා ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාව වශයෙන් හදුන්වනවා. ‘හොඳයි ශ්‍රමණය, දෙවන ප්‍රශ්නය තොපගෙන් අසමි…පුරුදු පුහුණු කරන ලද කවර ධර්මයක් සැප ලබා දෙයිද….?

‘එම්බා යක්ෂය, මේ ලෝකයෙහි කුසල් – අකුසල් යනුවෙන් දෙවර්ගයක් ඇත. අකුසල් නිසා හට ගන්නේ දුකක්මය. එබැවින් මැනවින් පුරුදු කරන ලද කුසල කර්මයක්ම සැප ලබා දෙයි..’

‘ශ්‍රමණය , මේ ලෝකයෙහි නොයෙක් රස වර්ග ඇත. ඒ සියලු රස වර්ග අතුරෙන් කවර නම් රසයක් අතිශයින්ම උසස් වේද…ශ්‍රමණය තොප පිළිතුරු දී ගත නොහැකිව පැකිලෙන්නේද….?

‘නැත…නැත…පින්වත් යක්ෂය, කෙසේවත් මම නොපැකිලෙමි…මෙලොව පවත්නා රසයන් අතුරෙන් උතුම්ම රසය මම ඔබට පහදා දෙමි.එය නෙම් සත්‍ය රසයම වේ.

“ශ්‍රමණය, ඔබ එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නත්, මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට නම් තොපට හැකි වේය’යි මම නොසිතමි. මෙලොව ජීවත් වන්නවුන්ගේ කවර නම් ජීවිතය ශ්‍රේෂ්ඨ වන්නේද?

පින්වත් යක්ෂය, යමෙක් ප්‍රඥාවෙන් ජීවත් වන්නෙහි නම් එයම ශ්‍රේෂ්ඨ වෙයි. යක්ෂය…ලෞකික වශයෙන් දැන උගත්කම් දියුණු කැර ගැනීමත්, ශ්‍රෘතමය ඤාණයෙන් පටන්ගෙන සර්වඥතා ඤාණය ලබා ගැනීම දක්වාත් ප්‍රඥාව දියුණු කර ගත හැකියි. ප්‍රඥාව නැති පුද්ගලයා වනාන්තරයක සිටින අන්ධභාවයට පත් හස්ථියකු හා සමානයි. නිවැරදි ස්ථානයට නිවැරදි අයුරින් ගමන් කිරීමට ඔහුට නොහැකියි. ‘හොඳයි ශ්‍රමණය, මම අනෙක් ප්‍රශ්න කිහිපය අසන්නෙමි. කෙසේ නම් සත්ත්වයා චතුර් ඕඝය තරණය කරන්නේද..කෙසේ නම් දුකින් නිදහස් වේද කෙසේ නම් සත්ත්ව තෙමේ පිරිසුදු භාවයට පත් වේද…?

‘එම්බා යක්ෂය, තොප විමසන කාම ඕඝ, දිට්ඨි ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ කියන සැඩ පහරවල් සතර තරණය කිරීමට නම්, ශ්‍රද්ධාව තිබිය යුතුයි. සංසාර සාගරය තරණය කිරීමට නම්, අප්‍රමාදය හෙවත් යහපත් සිහිය පැවතිය යුතුයි. සියලු සංස්කාර ධර්මයෝ වෙනස් වන සුළුයි. මේ බව සළකා මනා සිහියෙන් යුතුව කටයුතු කළ යුතුයි. දුක් වලින් නිදහස් වීමට නම් වීර්යය තිබිය යුතුයි. මෙය සම්මාවායාම කියලත් හැඳින්විය හැකියි. එනම් යහපත් කටයුතු සඳහා ඇති වීර්යයයි. අකුසල් වලින් දුරුවීමටත්, නැවත කිසි දිනක අකුසල් නොකිරීමටත්, කරන කුසල් වැඩි දියුණු කැර ගැනීමටත්, අලුතින් කුසල් කිරීමටත් , නරක දේවල් අත් හැර දැමීමටත් ගන්නා උත්සාහයයි.

පින්වත් ශ්‍රමණයනි, මම ඔබ විමසමි. කෙසේ නම් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබයිද…කෙසේ නම් ධනය ලබයිද….? කෙසේ නම් කීර්තිය ලබයිද?…කෙසේ නම් මිත්‍රයෝ ලබයිද….? කෙසේ නම් මෙලොව පරලොව ප්‍රතිසන්ධිය ලබා ශෝක නොකරයිද…..? ඔබට මේ ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු දීගත හැකි වනු ඇතැයි මම නොසිතමි.

පින්වත් යක්ෂ සේනාධිපතිය, ඔබට මම පිළිතුරු දෙමි….නුවණ ඇති අප්‍රමාදී මිනිසුන් ආර්යයන් වහන්සේලාගේ් ධර්මය ශ්‍රවණය කරති. එම ධර්ම ශ්‍රවණය හේතු කොට ගෙන නිර්වාණයට පැමිණීම පිණිස ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබයි. මාර්ග ඵල ලැබීමට හේතු වන චෛතසික වීර්යය තිබෙන කායික වීර්යය තිබෙන මිනිසුන් ලෞකික මෙන්ම ලෝකෝත්තර ධනය ලබා ගනිති.

සත්‍ය වචන කථා කැරෙන නිසා කීර්තියට පැමිණෙති. එසේම දීමෙහි කැමැති පුද්ගලයෝ මිත්‍රයන් ලබති. පරලොව ශෝක නොකරන පුද්ගලයන් පිළිබඳව ද ඔබ ප්‍රශ්න කළා නේද..? එයට ද පිළිතුරු දෙමි. යම් කිසිවකු ශ්‍රද්ධාව ඇත්නම්, සත්‍යයක්, ඉන්ද්‍රිය දමනයත් , ත්‍යාගයක් යන ධර්ම සතර ඇත්නම් හෙතෙම පරලොව දී ඒකාන්තයෙන්මැ ශෝක නොකරයි.’

එසේම පින්වත, සත්‍යයට වඩා කීර්තිය ලබා දෙන, ඉන්ද්‍රිය දමනයට වඩා ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබා දෙන, පරිත්‍යාගයට වඩා මිත්‍රයන් ලබා දෙන , ශාන්තියට වඩා ලෞකික ලෝකෝත්තර ධනය ලබා දෙන වෙනත් කිසිවක් නැත. එවැන්නක් ඇතැයි ඔබට හැගෙන්නේ නම්, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයකුගෙන් විමසව‘.

‘අවශ්‍ය නැත ස්වාමීනි, ප්‍රඥාව ආදියට හේතු වන කරුණුත් පරලොව ශෝක නොකිරීමට හේතු වන කරුණුත්, සියල්ල අද පටන් මම දැන ගතිමි. ඔබ වහන්සේ ඒකාන්තයෙන්මැ මටම හිත වැඩ පිණිස මෙම අලව් නුවර මගේ භවනයට වැඩම කළාහු ය. එසේම දීමෙහි මහත්ඵල මහා ආනිසංස මම අද වටහා ගතිමි….ස්වාමීනි, මම අද පටන් බුද්ධ , ධම්ම, සංඝ යන තෙරුවන් ගුණ ගයමින් ගමින් ගමට , නගරයෙන් නගරයට යන්නෙමි…..භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ දෙසුම ඉතා යහපත්ය.

මුනින් තබන ලද බඳුනක් උඩුකුරු කළ අයුරින්, වැසී තිබුණ යමක් විවර කළ අයුරින්, මං මුලාවූවෙකුට මග පෙන්වූ අයුරින්, අඳුරෙහි සිටියකුට ආලෝකයක් ලබා දුන් අයුරින් ඔබ වහන්සේ විසින් ධර්මය දැක්වූහ. අද පටන් මම දිවිහිමි කොටැ තෙරුවන් සරණ යන්නෙමි…මා තෙරුවන් සරණ ගිය උපාසකයකු වශයෙන් සළකනු මැනවි ස්වාමීනි….සාදු….සාදු…..සාදු…

Posted by: sureshpdn | December 15, 2009

දැමුණු සිත සදයි සෙත


අපේ සිත, අපේම සිතින් මවාගත් සිහින ලෝකවලට නිතැතින්ම ගෙන යනවා. සමහරු රේස් දැමීමෙන්, සූදුවෙන් ජයලබා ධනවතකු වන්න සිතනවා. අවසානයේ මෙලොව ජීවිතයත් අඳුරුවෙනවා. පරලොව ජීවිතයත් අදුරුවෙනව. සූදුවට යොමුවීම අගය කළ නොහැකි දෙයක්, අහංකාරකම, මානය, උඩඟුව , සිත ඉතාම ආශාවෙන් වැළඳගන්නවා.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දුරං ගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා”

පින්වත්නි,

ඉහත සඳහන් ගාථාව අයිති වන්නේ සූත්‍ර පිටකයේ ධම්ම පදය නම් බෞද්ධ අත්පොතේ චිත්ත වර්ගයටයි. මෙහි සාමාන්‍ය සරල අර්ථය වන්නේ දුර අරමුණු කරා නිතර ගමන් කරන, නිතර තනිවම හැසිරෙන ශරීර ගුහාවෙහි නිදන සිත යම් කෙනෙක් තැන්පත් කර ගනීද? ඔහු මාර බන්ධනයෙන් හෙවත් සංසාර බැම්මෙන් මිදෙන බවය.

බුදුපියාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කරන්නට යෙදුනේ භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන් වහන්සේ අරභයාය.

ස්වභාවයෙන් සිත ගමන් කරන්නේ බොහෝ විට ආශාවන් පසුපසයි. පංචකාම සම්පත් කෙරෙහි දමනය නොවූ සිත පහසුවෙන්ම නොමගට ඇදී යනව. ඇස, කන, නාසය , දිව, ශරීරය පිනවීම සඳහා ගමන් කරන සිත සීමාවක් නැතිව නිතර ගමන් කරනව.

අපේ සිත, අපේම සිතින් මවාගත් සිහින ලෝකවලට නිතැතින්ම ගෙන යනවා. සමහරු රේස් දැමීමෙන්, සූදුවෙන් ජයලබා ධනවතකු වන්න සිතනවා. අවසානයේ මෙලොව ජීවිතයත් අඳුරුවෙනවා. පරලොව ජීවිතයත් අදුරුවෙනව. සූදුවට යොමුවීම අගය කළ නොහැකි දෙයක්, අහංකාරකම, මානය, උඩඟුව , සිත ඉතාම ආශාවෙන් වැළඳගන්නවා.

එක උත්සවයකට පාවිච්චි කළ ඇඳුම නැවත තවත් උත්සවයකට පාවිච්චි කරන්න සමහරු කැමති නැහැ. ඇතැම් විට දරුවන් ලොකු පාසල්වලට යවන්න මහන්සි ගන්නවා. ඇතැම් විට කෙනකුට ලැබෙන ආදායමට වඩා වියදම වැඩි කර ගන්නව. ආදායම සීමිතයි. වියදම සීමාවකින් තොරයි. බාහිර ආටෝපයට අලංකාරයට පුරුදු වුනොත් එහි පාඩුව තමාටමයි. දරුවන් ජනපි‍්‍රය පාසල්වලට යවන ඇතැම් දෙමව්පියන්ට කෙතරම් මුදලක් ඒ සඳහා වැය වනවාද? ඒ සඳහා මසකට දහස් ගණන් මුදල් වැයවන්නට පුළුවන්. එසේ වියදම් අධික වන විට ඒ වියදම් සඳහා තම රැකියා ආයතනයෙන් ලබාගත හැකි උපරිම ණය රැකියාවක නිරත අයකු නම් ලබාගන්න උත්සාහ කරනව. අවසානයේ පඩිපතට ලැබෙන්නේ ණය වාරික කැපුණුවිට ඉතා සුළු මුදලක් වන්න පුළුවන්. අන්තිමේදී පවුලේ නඩත්තුවට වැටුපෙන් දෙනතුරු ණයට අතමාරුවක් ගැනීමට තරම් සිදුවන්න පුළුවන්. ලැබීමට වඩා වියදම අධික වූ විට සැමියා දෙලොවක් අතර තනි වෙනවා. රැකියාවෙන් මුදල් උපයන මං සොයන ඔහු අවසානයේ අල්ලස් ගැනීමට පවා පෙළඹේ. නැතහොත් වැඩිමුදල් ඉපයීමට සූදුවට පෙළඹේ. එයින් තව තවත් දරිද්‍රතාවයට පත්වේ. අල්ලස්ගැනීම නීතියේ රැහැනට අසුවීමෙන් රැකියාව පවා අහිමි වේ. සිත පාලනය කිරීමට නොහැකි ඔහු අවසානයේ සුරාවටද පෙළඹේ. සිත යහමගට නොගෙන අවිචාරවත්ව හැසිරීමෙන් සිදුවන මෙවැනිදේ ගැන සමාජයේ වරින්වර අසන්න ලැබේ.

මෙම සියලු උවදුරු පැමිණෙන්නේ තම සිත පාලනය කිරීමට නොහැකි වීමෙනි. තම ස්වාමියාගේ වැටුප අනුව තම ගෘහ ජීවිතය සකස් කර ගැනීමට බිරිඳ තම සිත යොදවන්නේ නම් එම පවුල් ජීවිතය වාසනාවන්ත වනු නොඅනුමානය.

චන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්හිවාරයං
උජුංකරෝති මේධාවි
උසුකාරෝව තේජනං

කලබල වූ චපල වූ රැක ගැනීමට අසීරු වන මේ සිත ඇද වූ හී දඩු ඍජුකර සාදන හී වඩුවාමෙන් තම සිත දමනය කරන ලෙස බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත.

තම සිත මනාකොට හසුරුවා ගන්නේ නම් පරලොව ජීවිතයට පමණක් නොව මෙලොව ජීවිතයද සාර්ථක කර ගත හැකිය. අවිචාරවත් ලෙස අයාලේ යාමට සිතට ඉඩ නොදී තම ආදායමට සරිලන පරිදි තම වියදම් සකස් කරගත හොත් එය වාසනාවන්ත ජීවිතයකට මඟපාදයි.

සිත,කය, වචනය, සංවර කරගතහොත් එය සසර ගමනේ නැවතුම වෙත යාමේ එකම මඟ වනු ඇත. කය, වචනය, මොහොතකට හෝ සංවර කර ගත හැකිය. එහෙත් සිත තත්පර ගණනකින් වෙනස් වේ. එසේ නම් එම සිත සංවර කර ගත යුත්තේ තමා විසින්මය. අසංවර සිත සංවර කර ගැනීමේ අසීරු භාරදූර වගකීම පැවරෙන්නේ තමාටමය.

අහිංසක , අංගුලිමාල කෙනකු බවට පත්වූයේ ඔහුගේ සිත වැරදිමගට පෙළඹවීම නිසාය. මව මරා හෝ ඇඟිලි දහස සම්පූර්ණ කිරීමට තරම් ඔහුගේ සිත නොමගට යොමුවිය. මව මැරුවේ නම් ආනන්තරිය පාපකර්මය ඔහුට අත්වේ. එහෙත් අමාමෑණියන් වහන්සේ ඔහු තුළ රහතන් වහන්සේ නමක් සැගවී සිටිනු දුටු නිසා අංගුලිමාලගේ සිත යහමගට ගැනීමට හැකිවිය.

නතං මාතා පිතා කයිරා -අඤ්ඤවාපිච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං – සෙය්‍යසෝනං කතෝ කරේ

මනාකොට පිහිටුවන ලද සිත මව්පිය නැදෑයන් විසින් පවා නොකළ හැකි යහපතක් කරන්නේය. ඒ පුද්ගලයා උතුමෙකු කරන්නේ ය.

අමාමෑණියන් වහන්සේ සිත දමනය කිරීමේ මාර්ගය පහදා දී ඇත. ඒ බුදුමග ඔස්සේ ගොස් භාවනාවෙන් සිත දියුණු කරන්නේ නම් ඔහු මෙලොවද පරලොව ද ජයගත් අයකු වේ. එසේ නම් අපි සිත දමනය කර යහමගට යොදවා මෙලොව පරලොව දෙලොවම ජයගැනීමට අදිටන් කරගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි


පන්සිල් රැකීම දෙලොව දියුණුවට ඉවහල් වන අතර, තමන්ගේ අධ්‍යාත්මික විමුක්තියටද මඟ හෙළි කරයි. පන්සිල් රකින්නාගේ ගුණ සුවඳ සියලු දෙසට හමා යයි. කාගේත් ගෞරවයට ඔහු පාත්‍ර වෙයි. මෙලොව සැප ලබයි. පරලොව දී ද ඔහු ශ්‍රේෂ්ඨයෙක් වෙයි. නිවන් සුව ලැබීමට ද ඔහුගේ ශීලය හේතුවක් වෙයි. බුදුන්, දහම්, සඟුන් පිහිට කොටගත් උපාසකයා එබැවින් පන්සිල් පද උල්ලංඝනය නොකොට, නිති රැක ගැනීමෙහිලා උත්සුක වීම ඉතා වැදගත් වෙයි.

බෞද්ධයකු විසින් රැකිය යුතු මූලික ශීලය, නිත්‍ය ශීලය, පංච ශීලයයි. අපි උදේ සවස සහ දවසේ නොයෙක් අවස්ථාවලදී පංච ශීලය සමාදන් වෙමු. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරන කල්හි මහානාම ශාක්‍ය රජ දරුවෝ බුදු පියාණන් වහන්සේගෙන් ‘ස්වාමීනි, කෙනෙක් කොතෙකින් උපාසකයකු වන්නේ දැ’යි අසති.

‘ඒකමන්තං නිසින්නො ඛෝ මහානාමෝ සක්කෝ භගවන්තං එතදවෝච කිත්තාවතානු ඛෝ භන්තේ උපාසකෝ හොන්ති’ යනාදී ලෙසින් අසති.

උපාසක වන්නේ බුදුන්, දහම්, සඟුන් සරණ කොටගත් තැනැත්තේ යැයි, බුදු හිමියෝ පවසති ‘යතෝ ඛො මහානාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හෝතී ති යන පාඨයෙන් ද එය වදාරා ඇත. උපාසක යනු බෞද්ධයකු විසින් ලැබිය හැකි වැදගත් ගෞරව නාමයයි. අද එය සමාජයේ කොතරම් ගැරහීමට ලක්ව ඇතිද යන්න , වයස්ගත පුද්ගලයකුට පමණක් ‘උපාසක’ යන්න වහරන තත්ත්වයට පැමිණ තිබීමෙන් හෙළිවෙයි. තරුණ පහේ අයකුට උපාසක යැයි කිවහොත් තමන්ට අවඥාවෙන් කතා කළා යැයි ඔහු සිතනු ඇත. තවත් ඇතැම් අයගේ අදහස වන්නේ, එය අටසිල් සමාදන් වූ අයට භාවිතා කරන නමක් බවයි.

බුදුන් , දහම්, සඟුන් සරණ කොට, පිහිට කොට සිටින තැනැත්තා උපාසක නාමයෙන් දහමෙහි හැඳින්වෙන අතර, මහානාම ශාක්‍ය පුත්‍රයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්, බුදු හිමියෝ, උපාසක තෙමේ ශීලවන්ත වන අයුරු පහදති.

යම් කලෙක උපාසක තෙමේ සතුන් මැරීමෙන් වැළකුණේ ද, සොරකම් කිරීමෙන් වැළකුණේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ ද, බොරු කීමෙන් වැළකුණේද, මත් පැනින් වැළකුණේ ද එවිට හේ ශීල සම්පන්නයකු වන්නේ යැයි වදාළහ.

මෙපරිදි කෙනෙකුගේ උපාසකකම රැඳෙන්නේ පංච ශීල ප්‍රතිපදාව මත බව පැහැදිලි ය. පංච ශීලය රැකීමේ අගය නොයෙක් තැන්හි දී වදාළහ. එසේ ම එය නොරක්නවුන් ලබන විපාක ද බුදුන් වහන්සේ පෙන්වා දෙති. සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදයේ දී සතුන් නොමැරීම, අනුන් ලවා නොමැරවීම , මරන්නන් අනුමත නොකිරීම යන කරුණු ඔස්සේ එම ශික්ෂා පදය රැකිය යුතු බව දහමෙහි සඳහන් වෙයි.

සොරකම් කිරීමෙන් වැළකීම සම්පූර්ණ වීමට නම්, සොරකම් නොකිරීම, අනුන් ලවා සොරකම් නොකරවීම, සොරකම් කරන්නවුන් අනුමත නොකිරීම යන කරුණු සම්පූර්ණ විය යුතුය.

අනෙකුත් සිල් පද ද මෙලෙස තුන් ආකාරයකින් රැකිය යුතු ය. ධම්මික සූත්‍රයේ මෙලෙස පංච ශීලය රැකිය යුතු ක්‍රම දැක්වෙයි.

වේළුද්වාර සූත්‍රයේදී ‘ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුව කැමැති, දුක පිළිකුල් කරන තමන් දිවියෙන් තොර කරන්නේ නම්, එය තමන්ට පි‍්‍රය නොවෙයි. මම ද එසේ ජීවත්වනු කැමැති, නොමැරෙන කැමැති, සුව කැමැති, දුක පිළිකුල් කරන අන් සතුන් දිවියෙන් තොර කරන්නේ නම්, අනුන් හට ද එය අපි‍්‍රය වෙයි. අමනාප වෙයි. යම් කරුණක් මට අපි‍්‍රය අමනාප නම්, කෙසේ මම අනුන් එම දෙයට ලක් කරන්නේ දැ’යි නුවණින් සලකා කෙනෙක් සතුන් මැරීමෙන් වළකියි. අනුන් ද සතුන් මැරීමෙන් වළක්වයි. සතුන් මැරීමෙන් වෙන් වීමේ ගුණ කියයි. මෙසේ ශික්ෂාපද පහ පිළිවෙළින් තුන් අයුරකින් පිරිසුදු කරයි, යනුවෙන් සඳහන් වෙයි.

උපාසක තෙමේ, මේ සිල් පද රැකිය යුතුය. එවිට, ඔහු උපාසක බවට යෝග්‍ය වෙයි. සිල් පද කඩ වීම ද අංග කිහිපයක් එක් වීමෙන් සිදු වෙයි.

සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදය කඩවීමට, කරුණු පහක් ඉටුවිය යුතුය.

1.පණ ඇති සතකු වීම
2.පණ ඇති බව දැන සිටීම
3.මැරීමේ චේතනාව
4.මැරීමට යොදන උපක්‍රමය
5.එම උපක්‍රමයෙන් සත්වයා මරණයට පත් වීම

මේ කරුණු පහ සම්පූර්ණ වීම සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදය කඩ වීමට හේතුවෙයි.

සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය ගතහොත්, එය කඩ වීමට වස්තුවක් තිබීම, ඒ වස්තුව අනුන් අයත් බව දැන සිටීම, එය ගැනීමේ සොර සිත, ගැනීමට යොදන උපක්‍රමය එම උපක්‍රමය මගින් එය සොරෙන් ගැනීම යන කරුණු පහ සම්පූර්ණ විය යුතුය.

කාමයෙහි වරදවා හැසිරීම සම්බන්ධව බලන කල, නො යා යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම, සේවනය කිරීමේ සිත, ඊට උත්සාහ කිරීම, සේවනය ඉවසීම යන කරුණු හතර සඳහන් වෙයි.

මුසාවාදයෙන් වැළකීම නම් වූ සිවු වන ශික්ෂා පදය ගත් කල 1. කියන්නට යන දෙය ඇත්තක් නොවීම 2. රැවටීමේ සිත 3.බොරුව කීම 4. අසන්නා එය පිළිගැනීම යන කරුණු සම්පූර්ණ වීම එය කඩවීමට හේතුවෙයි.

මත්පැන් පානයෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය කඩවීමට 1. මත් වන දෙයක් වීම, 2. එය ගැනීමේ කැමැත්ත 3. ඊට යොදන උපක්‍රමය 4. එය ගැනීම යන කරුණු සම්පූර්ණ වීම අවශ්‍ය වෙයි.

පන්සිල් කඩ කිරීමේදී සිදු වන අකුසල්, අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය වශයෙන් ද්වි විධ ලෙස විග්‍රහ වෙයි. මරණයට ගොදුරු වන සත්වයාගේ ස්වභාවය අනුව, අකුසලයේ ස්වභාවය ද වෙනස් වෙයි. මරණයට ගොදුරු වන තැනැත්තා ගුණයෙන් මහත් නම්, එය මහා සාවද්‍ය අකුසලයක් වෙයි. මරණයට පත් වූයේ ගුණයෙන් හීන අයකු නම්, එය අල්ප සාවද්‍ය අකුසලයක් වෙයි. මහත් සිරුරක් ඇති සත්වයකු මැරීමේදී කුඩා සිරුරක් ඇති සත්වයකු මැරීමට වඩා උපක්‍රමය, උත්සාහය මහත් වන බැවින්, එබඳු සත්වයන් මැරීම (චේතනා මහත්වය අනුව) මහා සාවද්‍ය වෙයි. ගුණයෙන් හා සිරුරෙන් සම වුවත්, මැරීමේ දී ඇති වන ක්‍රෝධය මහත් වේ නම් , එය ද මහා සාවද්‍ය වෙයි.

මෙපරිදි ම වටිනාකමින් වැඩි වස්තුවක් සොරකම් කිරීම මහා සාවද්‍ය වෙයි. වටිනාකම අඩු නම් අල්ප සාවද්‍ය වෙයි.

ගුණවතකුගෙන් සොරා ගැනීම ගුණයෙන් අඩු අයගෙන් සොරා ගැනීමට වඩා සාවද්‍ය වෙයි. ගිහියකුගේ දෙයක් ගැනීම, භික්ෂුවකගේ දෙයක් ගැනීමට වඩා අල්ප සාවද්‍යය. තව ද උපක්‍රමය දුෂ්කර වීම, චේතනාවේ බලවත්කම ආදිය අනුව ද අකුසලයක් මහා සාවද්‍ය වීමේ ඉඩකඩ ඇති බව පෙනී යයි.

මෙපරිදි ම, කාම මිථ්‍යාචාරය , මුසාවාදය , සුරා පානය ආදියද මහා සාවද්‍ය හා අල්ප සාවද්‍ය වශයෙන් වෙන් කර දැක්විය හැකිවෙයි.

උපාසක තෙමේ පන්සිල් රැකීමෙහි මහත්සේ තත්පර වෙති.යම් ලෙසකින් පන්සිල් නොරකියි නම් එම අකුසල් විපාක මෙලොවදී මෙන්ම, පරලොවදී ඵල දෙන්නේය. එසේම පන්සිල් රැකීම දෙලොව දියුණුවට ඉවහල් වන අතර, තමන්ගේ අධ්‍යාත්මික විමුක්තියටද මඟ හෙළි කරයි. පන්සිල් රකින්නාගේ ගුණ සුවඳ සියලු දෙසට හමා යයි. කාගේත් ගෞරවයට ඔහු පාත්‍ර වෙයි. මෙලොව සැප ලබයි. පරලොව දී ද ඔහු ශ්‍රේෂ්ඨයෙක් වෙයි. නිවන් සුව ලැබීමටද ඔහුගේ ශීලය හේතුවක් වෙයි. බුදුන්, දහම්, සඟුන් පිහිට කොටගත් උපාසකයා එබැවින් පන්සිල් පද උල්ලංඝනය නොකොට, නිති රැක ගැනීමෙහිලා උත්සුක වීම ඉතා වැදගත් වෙයි. විවිධ සූත්‍ර දේශනාවන්හි දී බුදුන් වහන්සේ පන්සිල් රැකීමේ අනුසස් දේශනා කර ඇත.


භෞතික දියුණුව සිය ජීවිතයට ළඟා කර ගැනීම ගිහියා ගේ ප්‍රධාන අපේක්ෂාව ය. එම පරමාර්ථය මුදුන් පමුණුවා ගන්නට නම් හෙතෙම වැඩ කිරීමට ඇප කැප විය යුතුය. වැඩෙහි අනලස් විය යුතුය.

සාමාන්‍යයෙන් බටහිර වියතුන් ගේ අදහස අනුව නම් බුදු දහම ඇතුළු අනෙකුත් ආසියාතික ආගමික සම්ප්‍රදායයන් මිනිසාට වැඩ කිරීම සඳහා පෙළඹවීමක් කරන්නේ නැත. බුදු දහම පිළිබඳ නිවැරැදි හැදෑරීමකින්, අවබෝධයකින් තොරව කරන මේ ප්‍රකාශ හුදු මිථ්‍යා පමණි.

යම් පුද්ගලයකු ගෘහ ජීවිතයේ භෞතික දියුණුව අපේක්ෂා කරනවා නම් ඔහු අනිවාර්යයෙන් ම ශ්‍රමය වැගිරීමෙන් වැඩ කළ යුතු බව බුදු දහමේ පිළිගැනීමයි. මෙය ප්‍රධාන කොටස් තුනකින් සාකච්ඡා කැරේ. කායික ශ්‍රමය, මානසික ශ්‍රමය හා අධ්‍යාත්මික ශ්‍රමය වශයෙනි. කායිකව හා මානසිකව ශ්‍රමය වැය කිරීම ගෘහස්ථයා ගේ භෞතික දියුණුවට අත්‍යවශ්‍යම සාධකය. ඒ සමඟම අධ්‍යාත්මික දියුණුව ද අපේක්ෂා කරනවා නම් අධ්‍යාත්මික ශ්‍රම වැගිරීමක් ද කළ යුතු ය.

බුදු දහමට අනුව කායික ශ්‍රමය හා මානසික ශ්‍රමය යන අංගයන් එකක් අනෙකට වඩා උසස් වන බවට පිළිගැනීමක් නැත. එහෙත් අප ජීවත්වන සමාජයේ ශ්‍රමය වැය කරන ආකාරය අනුව විවිධ වෘත්තීන්ට වටිනාකම් ලබා දී ඇති ආකාරය දකිමු. කෙනෙක් කායික ශ්‍රමය වගුරුවමින් කෘෂි කර්මාන්තයෙහි, එසේත් නැතිනම් කම්කරු වෘත්තිය වැනි රැකියාවන් හි නියුතු වනවා නම් නූතන සමාජයේ ඔහුට එතරම් පිළිගැනීමක් නැත. පැසසුම් හා ලැබෙන වැටුප ද අනෙක් වෘත්තීන් හා සාපේක්ෂව අඩු ය. එහෙත් වෛද්‍ය වෘත්තිය, පරිගණක තාක්ෂණය ආදි රැකියාවන් හි නියුතු පුද්ගලයන්ට ලැබෙන සමාජ පිළිගැනීම සේ ම වැටුප ද ඉහළ ය.

ඔවුන් වැඩිපුරම වැය කරන්නේ මානසික ශ්‍රමයයි. මේ ආකාරයට වත්මන් වෙළෙඳ පළ ක්‍රමයෙහි විවිධ වෘත්තීන් අතරින් මානසික ශ්‍රමය වැය කරන වෘත්තීන් සඳහා පිළිගැනීමක් හා වැඩි ප්‍රතිලාභ හිමිකර දෙමින් කායික ශ්‍රමය වගුරුවන පුද්ගලයන් යම්තාක් දුරකට පහත් තත්ත්වයකට ඇද දමා ඇති ආකාරය අපි දකිමු.

බුදු දහමේ ශ්‍රමය පිළිබඳ එවැනි උස් පහත් භේද හෝ වර්ගීකරණ සිදු කරන්නේ නැත. එවැනි කරුණු මත පදනම්ව පුද්ගල වර්ගීකරණයක් කැරෙන්නේ ද නැත. යමෙක් කායිකව හෝ මානසිකව ශ්‍රමය වැය කරනවා නම් හෙතෙම සිය වෘත්තියේ නියැළීමේ දී අවංකව ශ්‍රමය කැපකළ යුතු බව බුදු දහමේ ඉගැන්වීමයි. තම වෘත්තිය වෙනුවෙන් අවංකව ශ්‍රමය වැය නොකරන පුද්ගලයා අධාර්මික වෘත්තියක නියැළෙන අයකු ලෙස ද නම් කරයි.

එසේ නොමැතිව කෙනකු කායික ශ්‍රමයෙන් දායක වන්නේ ද මානසික ශ්‍රමයෙන් දායක වන්නේ ද යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් රැකියාවේ උසස් හෝ පහත් බවක් මනින්නේ නැත. එවැනි මිණුම් ක්‍රමයක් ත්‍රිපිටකයෙහි ද දැකගත නොහැකි ය.

විශේෂයෙන් ම ධරණීය සංවර්ධනය අපේක්ෂා කරන බුදු දහම කායික මානසික ශ්‍රමය වැගිරීම අත්‍යවශ්‍ය බව පිළිගන්නා අතර ම අධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඇවැසි ශ්‍රමය කැපකිරීම ද අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇත. එනම් ශීලා දී උදාර ගුණධර්මයන් වර්ධනය කර ගැනීම උදෙසා මිනිසා වෙර වීරිය වැඩිය යුතු ය. අධ්‍යාත්මික ගුණය වර්ධනය නොකරන ලද පුද්ගලයාගෙන් මානුෂීය ගුණධර්ම අපේක්ෂා කළ නොහැකි ය. ඔහුගෙන් මනුෂ්‍ය වර්ගයාට යහපතක් සිදු වන්නේ නැත. හෙතෙම පරිසර හිතකාමියෙක් ද නොවන්නේ ය.

ජීවිතයේ භෞතික දියුණුව බලාපොරොත්තු වන පුද්ගලයා නිරන්තරයෙන් ම ශ්‍රමය කැපකිරීමෙහි දක්ෂයකු විය යුතු ය. උපායශීලී විය යුතු සේ ම අනලස් වීම ද වැදගත් ය. තමන් පමණක් නොව අන්‍යයන් ද එකී කාර්්‍යයන් හි යෙදවීමට කටයුතු කළ යුතු ය.

“දක්කෝ අනලසෝ දාතෟ පායා වීමංසාය අලංකාතුං අලං සංවිධාතුං” ආදී වචනවලින් පෙන්වා දෙන්නේ ඒ අදහසයි. තමන් ගේ වෘත්තිය උදෙසා අනලස්ව ශ්‍රමය කැප කිරීමට මිනිසා පොළඹවන දේශනාවක් අංගුත්තර නිකායේ කුසීතාරම්භ වස්තු සූත්‍රයෙහි අන්තර්ගත ය. ඒ පිළිබඳ ගැඹුරු අවධානය යොමු කරන්නේ නම්, අලස වන්නට නොව වැඩ කරන්නට මිනිසා පොළඹවමින් ශ්‍රමාභිමානය ඇති කරන අයුරු දැක ගත හැකි ය.

වෙහෙස මහන්සි වී වැඩ කිරීම ලජ්ජාවට කරුණක් වන්නේ නැත. එය තමන් කෙරෙහි ආඩම්බර වීමට හේතුවකි. කුසීතාරම්භ වස්තු සූත්‍රයේ එන ආරම්භක වස්තු හෙවත් වැඩට පොළඹවන සංකල්ප අටකින් ඒත්තු ගන්වන්නේ මේ ධර්මතාවයයි.

දැන් කළ යුතු කාර්යය දැන් ම නිම කිරීම එහි පළමුවැන්න ය. අපට ඉදිරියේ දී කරන්නට ඇති දෑ බොහෝ ය. දැන් කළ යුතු දේ පසුවට කල් දමන්නේ නම් අනාගතයේ කළ යුතු දේ නිසියාකාරව ඉටු කිරීමට කාලය ඉතිරි වන්නේ නැත. ඉදිරියේ දී මට මේ මේ වැඩ කළ යුතුව තිබේ ය යන මානසිකත්වය අප සිත උපදවා ගන්නට හැකි නම් ඒ සඳහා වේලාව ඉතිරි කරගන්නට, අවස්ථාව සලසා ගන්නට හැකි වේ. ඒ සඳහා අද දවසේ, මේ මොහොතේ කළ යුතු සෑම කටයුත්තක් ම කැපවීමෙන් අවසන් කිරීම වැදගත් ය.

තමන් යම් කාර්යයක් කර අවසන් වූ විට එය නිම කළා යැයි සෑහීමකට පත් නොවී ඒ කාලය තුළ අතපසු වූ වැඩ සොයා බලා නිම කිරීම ද වැදගත් ය. මේ ;දවැනි සංකල්පයයි. යම් කටයුත්තක් අවසානයේ දී අප බලාපොරොත්තු වන්නේ විවේකයයි. එහෙත් බුදු සමය මේ අදහස ප්‍රතික්ෂේප කර ඇත. විවේකයක් සොයනවා වෙනුවට තවත් අතපසු වූ වැඩ ඇත්දැයි සොයා බලා ඒවා සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතු බව එහි දී අවධාරණය කර ඇත.

ඔබට යම් ගමනක් යාමට තිබේ යැයි සිතන්න. ඊට පෙර ඔබ කළ යුතු ප්‍රධානතම කාර්යයක් වේ. එනම් කළ යුතු වැඩ සියල්ල අවසන් කිරීම ය. ඔබට දුර බැහැරක යන්නට සිදු වන්නේ නම් ඒ සඳහා ගත වන කාලයේ කළ යුතු වැඩ එවිට අතපසු වන්නේ නැත. සැහැල්ලු සිතින් ගමන නිමා කිරීමට ද පුළුවන. ආපසු පැමිණි අවස්ථාවේ ද ඔබ විසින් කළ යුතු ප්‍රධානතම කාර්යයකි.

එනම් ඔබගෙන් මඟ හැරුණ වැඩ සම්පූර්ණ කිරීම ය. මෙය ද වටිනා ඉගැන්වීමකි. විශේෂයෙන් ම අප ගේ බොහෝ වැඩ අතපසු වන්නේ යම් ගමනක් වෙනුවෙන් මහ මඟට යෙදවීමට ඇති කාල පරිච්ඡේදයේ වූ දිගු බව නිසා ය. මේ ගැන සිතා අනලස්ව තම වැඩ කටයුතු නිම කිරීමට උත්සාහ කළ යුතු ය.

කුසට ප්‍රමාණවත් අහරක් නො ලැබුණේ නම් ඒ ගැන සිතමින් සිතට කරදර දෙමින් කල් ගෙවීම බොහෝ දෙනා ගේ සිරිත ය. ආහාර ගත යුතු වන්නේ ජීවත්වීම සඳහා පමණි. එහෙත් බොහෝ දෙනා ආහාරයම තම ජීවිතය කොට සලකති. මද කුසගින්නක දී වුව වැඩ මඟහරිමින් දැන් වැඩ කළ නොහැකි යැයි සිතමින් කාලය විනාශ කරති. බුදු දහම මේ ක්‍රියා පිළිවෙත අනුමත කරන්නේ නැත. මද කුසගින්නක දී ඔබ මෙසේ සිතා වැඩ කළ යුතු ය.

“තවමත් මගේ කය වැඩෙහි යෙදවිය හැකි ය. සිරුර සැහැල්ලු ය. දුබල වන්නට පෙර වැඩ කළ යුතු ය.” යනුවෙනි.

ප්‍රමාණික ව ආහාරපාන ගත් පසු ආහාරයෙන් මත් වී නිදි සුව විඳීම පෘථග්ජනයා ගේ කැමැත්තයි. එහෙත් බුදු සමය යෝජනා කරන්නේ ලබාගත් ආහාර නිසා ලැබුණු ශක්තිය උපයෝගී කර ගනිමින් ඔබ ගේ වැඩ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ඇප කැප වන ලෙසට ය.

මද ගිලන් බවක් දැනෙන අවස්ථාවේ දී රෝගය උත්සන්න වීමට පෙර කළ යුතු වැඩ නිම කරන්නට ප්‍රයත්න දැරිය යුතු බව හත්වැනි කරුණ ලෙස පෙන්වා දී ඇත. ඉදිරියේ දී රෝගී වීමට ආසන්න බව සමහර විට අපට ම දැනේ. එවිට කළ යුතු වැඩ උපරීමයෙන් ඉටු කරනවා නම් රෝගී අවස්ථාවේ අදාළ විවේකය භුක්ති විඳීමට නිදහස් මානසිකත්වයක් ඇතිවේ. ඒ නිදහස් මානසිකත්වය ම ඔබ ඉක්මනින් නිරෝගී පුද්ගලයකු බවට පත් කිරීමට ප්‍රධාන හේතුවක් වීමට පුළුවන.

රෝග පීඩාදියෙන් සුවය ලැබු විගය ඒ කාල සීමාවේ අතපසු වූ වැඩ කිරීම ද වැදගත් ය. නැතහොත් වැඩ අධික වී ඔබට කායිකව මෙන් ම මානසිකව ද පීඩා දෙනු ඇත. කුසීතාරම්භ වස්තු සූත්‍රයේ සඳහන් මෙම සංකල්ප ගිහියා ගේ ජීවිතයට ඉතා වැදගත් මඟ පෙන්වීමක් සිදු කරයි. පැවරුණ වැඩ කොටස නිසියාකාරව ඉටු නොකරන පුද්ගලයා නිරතුරුවම කල් ගෙවන්නේ සැකයෙනි. බියෙනි. ඔහු ගේ මනස පීඩාකාරී ය. අතපසු වූ වැඩ අධික වීම නිසා ඔහුට සතුටින් කාලය ගෙවීමට නො හැකි ය.

සුවබර නින්දක් ද නොලබන්නේ ය. කාලය මෙන්ම ඒ ඒ දිනයට, වේලාවට නියමිත වැඩ කටයුතු ද කළමනාකරණය කරගන්නා පුද්ගලයා ගේ ජීවිතය සකසුරුවම් ය. ආරක්ෂාකාරී ය. ඔහුට අනාගතය පිළිබඳ බියක් දැනෙන්නේ නැත. සතුටින්, සැහැල්ලුවෙන් දිවි ගෙවන්නේ ය.

Categories